නියාගම ප්‍රාදේශිය සභාව, නියාගම, තල්ගස්වල. +94 912296518/+94 912291276/+94917294610-11 niyagamaps@gmail.com

සභාවේ ඉතිහාසය

නියාගම ප්‍රාදේශිය සභාවේ ඉතිහාසය

නියාගම ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ප්‍රධාන නගරය පිටිගල වේ. පිටිගල යනු පුරාණ රජ දවස පටන් ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයකි. පිටිගල ප්‍රදේශයේ අතීතයේ ලන්දේසි බලකොටුවක් වූ බවත්, පුරාණ රාජධානි සමයේ අළුත්ගම ප්‍රදේශයේ සිට පිටිගල පුරාණ තොටුපල දක්වා ජලාශ්‍රිත ඔරු පාරු ගමන් මාර්ගයක් වූ බවත්, සඳහන්වේ. වර්තමානයේද එම ප්‍රදේශය තොටුපල ලෙස හැඳින්වේ. එසේම හත්තක, උහන්ඕවිට, මාර්තුපිටිය, මාලිගාතැන්න, කළුආරච්චිගොඩ ආදී ගම් ප්‍රදේශ ද ඓතිහාසික වැදගත්කමක් උසුලයි.  

පස්දුන් කෝරලයේ පාලනයක් ගෙනගිය වීදිය බණ්ඩාර පාලින්ද නුවර අගනුවර කර ගැනීමට සන්නද්ධ වූයේ පිටිගල උහන්ඕවිට ප්‍රදේශයේ සිටය. උහන්ඕවිට කන්දේ අද ද වීදිය බණ්ඩාර වාසය කළායැයි පවසන සුවිසල් ගල්ලෙනක් ඇත. වීදිය බණ්ඩාර සිය ප්‍රදේශය ආරක්ෂා කර ගැනීමට තනන ලද අගලට පිට ප්‍රදේශය පිටිගල නම් විය. 

වීදිය බණ්ඩාර සමග පැමිණි කෝරාළ, ඈපා, ගජනායක යන නිළ ලද්දන්ගෙන් පැවත එන පරපුරවලින් අද මෙම ප්‍රදේශයේ මානව සම්පත පෝෂණය වී ඇත.

බෙන්තර ගඟේ හත්වන වක පිහිටි ප්‍රදේශය හත්තක විය. මාලිගාවකට සුදුසු යැයි තේරාගත් තැනිතලා බිම මාලිගාතැන්න නම් විය. වර්තමානයේ මාලිගාතැන්න පිරිවෙන් විහාරය පිහිටා ඇත්තේ එම ප්‍රදේශයේය.

ලන්දේසි පාලන කාලයේ තාවකාලික බලකොටුවක් තිබූ බවත්, එහි පාලනය කළ සිංහල (කළු) ආරච්චිල කෙනෙකු වූයෙන් ඔහු පදිංචි ප්‍රදේශය කළුආරච්චිගොඩ නම් විය.

මෙම ප්‍රදේශයේ පිහිටි බලගල කන්ද පූරාණයේ හඳුන්වා ඇත්තේ “බණගල කන්ද” ලෙස ය. ඊට හේතුව පෝය දින වලදී මේ කන්දෙන් බණ කියන ශබ්දයක් ඇසීමයි. නිදන් වදුල පොතේ මෙම බලගල කන්ද මුදුනේ නිධානයක් ඇති බව දැක්වේ.

එසේම නියාගම ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ යෝධයා වේල්ල, කළුදිය පොකුණ, කළු දොල හා සඳගිරිගම තොටුපල, සුද්දැල්ලාව ආරණ්‍ය සේනාසනය ආදී දෙස් විදෙස් සංචාරක අවධානයට යොමු වූ ආකර්ශනීය ස්ථාන වලින් හෙබි ප්‍රදේශයකි.

සභා බල ප්‍රදේශයේ වී ගොවිතැන හා තේ වගාව ප්‍රධාන ආදායම් මාර්ග වී ඇති අතර, විශේෂිත කර්මාන්ත ලෙස පිටිගල ප්‍රදේශයේ රත්රන් සහ කළුගල් කර්මාන්ත දැක්විය හැක.

නියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු සභාපතිවරුන්
කේ.එම්.ජී. ෆැන්සිස් මැතිතුමා වර්ෂ 1935 සිට 1953 දක්වා පිටිගල වැයිහේන ගම් කාර්ය සභා ගරු සභාපති
ඩී.එන්. අතුකෝරළ මැතිතුමා වර්ෂ 1954 සිට 1969 දක්වා පිටිගල වැයිහේන ගම් කාර්ය සභා නියෝජිත
වර්ෂ 1969 සිට 1977 දක්වා ගම් කාර්ය සභා සභාපති
කේ. පතිනායක මැතිතුමා වර්ෂ 1969 සිට 1973 දක්වා පෝද්දිවල නියාගම ගම් කාර්ය සභා සභාපති
සුනිල් ප්‍රනාන්දු මැතිතුමා වර්ෂ 1992 සිට 1995 දක්වා නියාගම පෝද්දිවල ප්‍රාදේශීය සභා සභාපති
චම්ලි විතානාච්චි මැතිතුමා වර්ෂ 1996 සිට 2001 දක්වා නියාගම පෝද්දිවල ප්‍රාදේශීය සභා සභාපති
සම්පත් අතුකෝරළ මැතිතුමා 2001 සිට 2006 දක්වා නියාගම පෝද්දිවල ප්‍රාදේශිය සභා නියෝජිත
2006 සිට 2009 දක්වා නියාගම පෝද්දිවල ප්‍රාදේශිය සභා සභාපති
ප්‍රසාද් වීරක්කොඩි මැතිතුමා වර්ෂ 2006 සිට 2009 දක්වා නියාගම පෝද්දිවල ප්‍රාදේශිය සභා නියෝජිත
වර්ෂ 2009 සිට 2011 දක්වා නියාගම පෝද්දිවල ප්‍රාදේශිය සභා සභාපති
වර්ෂ 2011 සිට 2015 දක්වා නියාගම පෝද්දිවල ප්‍රාදේශිය සභා සභාපති
වර්ෂ 2018.03.20 සිට 2023.03.19 වන දින දක්වා නියාගම පෝද්දිවල ප්‍රාදේශිය සභා සභාපති
සිදත් කුමාර මැතිතුමා වර්ෂ 2025.06.02 සිට මේ දක්වා නියාගම පෝද්දිවල ප්‍රාදේශීය සභා ගරු සභාපති

© Niyagama Pradeeshiya Sabha. All Rights Reserved.